යුක්‍රේනයේ වරායන්ට එල්ලවූ ප්‍රහාර නිසා ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට සාකච්ඡා

යුක්‍රේනයේ වරායන්ට එල්ලවූ ප්‍රහාර නිසා ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට සාකච්ඡා

ධාන්‍ය ගනුදෙනුවෙන් මොස්කව් ඉවත් වීම සහ යුක්‍රේනයේ වරායන් සහ ගබඩා පහසුකම් වෙත එල්ල කරන ලද ප්‍රහාර වලින් පසු ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අවධානය යොමු කර තිබෙනවා

පසුගිය දින කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ සහ යුරෝපීය කොමිසම ඇතුළු සංවිධාන විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි රැස්වීම් ගණනාවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

එහිදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ඩොලර් මිලියන 250ක ලබාදීමක් ඇතුළුව, යුක්‍රේනයේ කෘෂිකාර්මික කර්මාන්තය සඳහා නව සහය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා

ජූලි 17දා ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වූ දා සිට රුසියාව ඔඩේසා වරාය නගරය ඇතුළු ප්‍රධාන යුක්‍රේන නගරවල ධාන්‍ය සැපයුම්වලට ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබුවා

ඒ අනුව වසරකට මිනිසුන් 270,000 ක් පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ධාන්‍ය ටොන් 60,000ක් විනාශ වූ බවයි එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය තානාපති Barbara Woodward පවසා තිබෙන්නේ

සංවර්ධනය වෙමින් පවතින රටවලට යුක්‍රේන තිරිඟු අපනයනයෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සපයන යුක්‍රේනයේ Chornomorsk වරායට පසුගිය සතියේ මොස්කව් එල්ල කළ ප්‍රහාරය නිසා එය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් වසරක් ගතවනු ඇතැයි විශේෂඥයින් සඳහන් කරනවා

Share This