දකුණු ආසියාතික කලාපයේ ‘බලශක්තිය සඳහා’ සම්පත් බෙදාගැනීමේ වැඩපිළිවෙලක්

දකුණු ආසියාතික කලාපයේ ‘බලශක්තිය සඳහා’ සම්පත් බෙදාගැනීමේ වැඩපිළිවෙලක්

දකුණු ආසියාතික රටවල් සිය බලශක්ති සම්පත් වාණිජ මට්ටමින් පරිහරණය කිරීමේදී සහ ඒවාට ඇති ඉල්ලුම සම්බන්ධයෙන් කටයුතු කරද්දී, පෙරට වඩා මේ වන විට වෙනස්කම් පෙන්නුම් කරමින් සිටින බව විදෙස් වාර්තා මගින් තහවුරු වනවා.

කලාපයේ ඉන්දියාවට, පාකිස්ථානයට සහ බංග්ලාදේශයට සැළකිය යුතු ස්වභාවික ගෑස් සහ ගල් අඟුරු සම්පත් පවතින අතර, භූතානය සහ නේපාලය සතුව ජලවිදුලි සම්පත් බහුල බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

සියලුම දකුණු ආසියාතික රටවලට පුනර්ජනනීය බලශක්තිය සඳහා විශාල විභවයන් ඇති අතර, මෙම සම්පත් බෙදාහදා ගැනීම, සමස්ත කලාපය සඳහා වඩාත් කාර්යක්ෂම බලශක්ති විසඳුම් සාක්ෂාත් කරගැනීම සඳහා සුදුසු බවයි පැවසෙන්නේ.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දකුණු ආසියාතික රටවල්වලට වඩාත් ශක්තිමත් අභ්‍යන්තර සහ අන්තර් කලාපීය බලශක්ති වෙළඳ ව්‍යුහයක් ස්ථාපිත කිරීම මගින් එහි කලාපීය බලශක්ති හුවමාරු හැකියාවන් වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බලශක්ති සහයෝගීතාව යනු ‘දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතා වැඩසටහනේ'(SASEC) ප්‍රධාන ලෙස අවධානය යොමු කර ඇති විෂයයක් .

දැනට අන්තර් කලාපීය බලශක්ති වෙළඳාම, ඉන්දියාව-භූතානය හා ඉන්දියාව-නේපාලය අතර විදුලි වෙළඳාමට සහ ඉන්දියාව සහ නේපාලය, භූතානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳාමට සීමා වී තිබෙනවා.

කෙසේ වෙතත්, භූතානය සහ ඉන්දියාව, ඉන්දියාව සහ නේපාලය අතර බලශක්ති හුවමාරු සම්බන්ධතා වර්ධනය කෙරෙමින් තිබෙන අතර, මෙම රටවල්වල ඒකාබද්ධ විදුලි වෙළඳාම ඉදිරි දශකයේදී තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව, බංග්ලාදේශය සහ ඉන්දියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම, ඉන්දියාව සහ පාකිස්ථානය අතර යෝජිත බලශක්ති හුවමාරු සම්බන්ධතා ඔස්සේ, කලාපීය බලශක්ති වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීමේ විභවය පවතිනවා.

කලාපයේ බලශක්ති සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වැදගත් පියවර කිහිපයක් ගත යුතුව ඇති බවත් පළමුව එක් එක් රටවල බලශක්ති පද්ධති ව්‍යුහයන් සහ මෙහෙයුම් ක්‍රියා පටිපාටි සලකා බලමින් කලාපීය බල හුවමාරුවක් සඳහා ව්‍යුහයක් සකස් කළ යුතු බවත් විදෙස් විශ්ලේෂකයන්ගේ අදහසයි.

දෙවනුව, විධිමත් අනුමත ක්‍රියාවලීන් සහ ස්වාධීන නියාමන පරිසරයන් හරහා, විශේෂයෙන් නේපාලයේ සහ භූතානයේ විදුලිබල උත්පාදනය හා සම්ප්‍රේෂණය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන පරිසරය වැඩිදියුණු කළ යුතු බවත් තෙවනුව, තාක්ෂණික හා ආර්ථික වශයෙන් බලගැන්වුණු දේශසීමා අන්තර් සම්බන්ධතා, සුදුසු ආයෝජන විකල්පයන් සමඟ හඳුනාගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

අවසාන වශයෙන් දේශසීමා වෙළඳාම සඳහා නීතිමය සහ නියාමන රාමු සම්බන්ධයෙන් එකඟවිය යුතු අතර, දේශසීමා බලශක්ති හුවමාරු ආශ්‍රිත ආයෝජන සහ ගනුදෙනු සඳහා වැඩි ආරක්ෂාවක් සැපයීම වෙනුවෙන් බලශක්ති ප්‍රඥප්ති ගිවිසුම් පිළිබඳව සලකා බැලිය යුතු බවයි විදෙස් විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව සිය විදුලි අවශ්‍යතා සපුරාගැනීමේදී සීමිත සම්පත් සහ අධික පිරිවැය ඇතුළු අභියෝග කිහිපයකට මුහුණදෙමින් සිටින අතර එහිදී, ඉන්දියාව සමඟ විදුලි ජාල සම්බන්ධතා ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවට මෙම ගැටළුවෙන් සැලකිය යුතු කොටසක් විසඳාගත හැකි බව මෙරට රජයේ විශ්වාසයයි.

නේපාලය, ඉන්දියාව සහ බංගලාදේශය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුම කලාපයේ විදුලි උත්පාදනය සහ අපනයනය සඳහා ආදර්ශයක් බවට පත්ව ඇති අතර මෙම ගිවිසුම යටතේ බහුල ජලවිදුලි සම්පත් ඇති නේපාලය, විදුලිය ජනනය කර ඉන්දියාවට සහ බංග්ලාදේශයට පොදු ජාල පද්ධතියක් හරහා අපනයනය කිරීම සිදු වනවා.

මෙම සහයෝගීතාවය හරහා නේපාලය තම අසල්වාසීන්ට විශ්වාසනීය සහ දැරිය හැකි මිලකට බලශක්ති සැපයුමක් ලබාදෙන අතරම, එරට පුනර්ජනනීය බලශක්ති විභවය යාබද රටවල් සමග බෙදාගැනීමටද ඉඩ සලසයි.

ශ්‍රී ලංකාව සතුවද විදුලි උත්පාදනය සඳහා යොදාගත හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පවතින බව අමතක කළ යුතු නැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.තිරසාර සංවර්ධනය සහ එහි කාබන් අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, විශේෂයෙන් සූර්ය හා සුළං බලයෙන් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව දැනටමත් සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇති බව පැහැදිලි කරුණකි.කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලුම එහි වර්තමාන ජනන ධාරිතාව ඉක්මවා යන අතර මෙම ගැටලුව හමුවේ ඉන්දියාව සමග ජාල සම්බන්ධතා ගිවිසුමක් ඇති කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට තම පුනර්ජනනීය බලශක්ති විභවය කාර්යක්ෂමව භාවිත කළ හැකි අතරම, රටේ ජනතාව වෙනුවෙන් ස්ථාවර විදුලිබල සැපයුමක් සහතික කළ හැකි වනු ඇති බව රජයේ විශ්වාසයයි.

ඉන්දියාවට, එහි දැවැන්ත බලශක්ති යටිතල පහසුකම් සහ විශේෂඥ දැනුම සමග, ශ්‍රී ලංකාව සමග ජාල සම්බන්ධතාවකට එළඹීමේදී, පහසුකම් සැලසීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර මෙම සහයෝගීතාව තුළින් ඉන්දියාවට ජල විදුලිය, සූර්ය සහ සුළං ව්‍යාපෘති ඇතුළු පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාවට තාක්ෂණික දැනුම සහ අරමුදල් සහාය ලබාදිය හැකිවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන්දියාව සමග ජාල සම්බන්ධතාවය මගින් මිල අධික ආනයනික ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමට උපකාරී වන බවත් වර්තමානයේ, ශ්‍රී ලංකාව සිය බලශක්ති උත්පාදනය ඩීසල් සහ ගල් අඟුරු මත දැඩි ලෙස රඳා පවතින අතර, එය අධික බලශක්ති පිරිවැයකට හේතුවනවා පමණක් නොව, පරිසරයට ද අහිතකර ලෙස බලපාන බව අදහසයි.

නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විදුලිබල උත්පාදනය සහ අපනයනය සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට යම් අදහසක් ගත හැකි බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This