ඉන්දියානු රුපියල ලංකාවට ඒම ගැන වැඩිදුර තොරතුරු

ඉන්දියානු රුපියල ලංකාවට ඒම ගැන වැඩිදුර තොරතුරු

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නම්කළ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනය කිරීමත් සමග, එය මෙරට භාවිත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් විවිධ අදහස් ජනතාව අතර පැතිර යන්නට වුණා.

ඒ අතුරින් ප්‍රධානම අදහසක් වූයේ ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දීය රුපියල්වලින් මෙරටදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට පවා අවස්ථාව ලැබී ඇති බවයි.

ඒ අනුව බොහෝදෙනා එකිනෙකාගෙන් විමසන්නට වූයේ ශ්‍රී ලංකාවේ එලෙස ඉන්දීය රුපියලින් සිදුකළ හැකි ගනුදෙනු මොනවාද යන්නයි.

කෙසේවෙතත්, ජනතාව අතර පැතිරෙන මෙම අදහස්වල සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා පියවර ගත්තා.

එම පැහැදිලි කිරීමේ අරමුණ වී තිබුණේ, දෙරට අතර වෙළඳ ගනුදෙනු කාර්යක්ෂම කර, රටේ මූල්‍ය අර්බුදය විසඳීමේ පියවරක් ලෙස ක්‍රියාවට නැගුණු මෙම විනිමය හුවමාරුව ආරම්භයේදීම අසාර්ථක වීමට ඉඩ නොදීම සඳහායි. මහ බැංකුව පැහැදිලිව කියාසිටියේ, ශ්‍රී ලංකාව තුළ මෙරට පුරවැසියන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළහැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවයි. ඒ අනුව, ඉන්දියානු රුපියලින් භාණ්ඩ මිලදී ගැනීමට මෙරට කිසිදු අවස්ථාවක් රටවාසීන්ට නොමැති බව මහ බැංකුව අවධාරණය කර තිබුණා.

“ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ. ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කල හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි. ඒ අනුව, ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.” යනුවෙන් මහ බැංකුව සිය පැහැදිලි කිරීම සඳහා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙහිදී ඉන්දියානු රුපියල පමණක් නොව, රටේ පවතින ඩොලර් අර්බුදය පාලනය කරගැනීම සඳහා තවත් විදේශීය මුදල් ඒකක 14ක් මෙරට නම්කළ විදේශ ව්‍යවහාර මුදල් වර්ග ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව මහ බැංකුව පෙන්වාදී තිබෙනවා.

“ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශසීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළුව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.එනම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, චීන රෙන්මින්බි, ඩෙනිෂ් ක්‍රෝනර්, යූරෝ හොංකොං ඩොලර්, ජපන් යෙන්, නවසීලන්ත ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, ස්ටර්ලිං පවුම්, සිංගප්පූරු ඩොලර්, ස්විඩිෂ් ක්‍රෝනර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ තායි බාත් ය.”

මෙලෙස විදේශීය මුදල් ඒකක ගණනාවක් රට තුළ නිල භාවිතය සඳහා නම්කරනු ලැබූවද, ඒ අතුරින් සිය අසල්වැසියාගේ මුදල් ඒකකය ශ්‍රී ලංකාවට මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මක්නිසාද යන්න මහ බැංකුව පැහැදිලි කර ඇත්තේ මේ ආකාරයෙනි.

‘නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීමයි. තව ද, එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇති අතර, එය විධිමත් බැංකුකරණ මාධ්‍යය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහාය වනු ඇත. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇත.

2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම සීඝ්‍රයෙන් වර්ධනයත් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන්ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙරට අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට, ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීමට කැමති බව ඉන්දියාවේ මුදල් අධිකාරිය වන ඉන්දියානු සංචිත බැංකුව වෙත විවිධ අවස්ථාවන්හි දී සන්නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේ දී, ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කළ බව සඳහන්. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වනවා.

විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමටව සිදු කිරීමට පහසුකම් සැලසීම, වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, අමෙරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේ දී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීම ඇතුළු බොහෝ ප්‍රයෝජන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. තව ද, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින්, බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම, ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් එක් කරනු ඇති .’

ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහත් හයත් අතර වටිනාකමකින් යුතු භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා. ඉන්දියානු රුපියල සෘජුව භාවිතයට ගැනීම ඔස්සේ, මෙලෙස ඉන්දියාවට ආනයනයන් වෙනුවෙන් ගෙවීමට සිදුවන දැවැන්ත ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන අතර අනෙක් අතට මෙරට ප්‍රධානතම සංචාරක මූලාශ්‍රයක් වන්නේ ඉන්දියාවයි. එබැවින් ශ්‍රී ලංකාවේ අපනයනයන්ට අවශ්‍ය ඉන්දියානු රුපියල්, කිසිදු ගැටලුවකින් තොරව ඉන්දියානු සංචාරකයන් හරහා ලබාගත හැකියි. එසේම මින් ඉදිරියට ඉන්දියාවේ සිදුකෙරෙන කිසිදු සංචාරයකදී ශ්‍රී ලාංකිකයෙකුට ඩොලර් රැගෙන ගොස් ඉන්දියානු රුපියල් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවක් පැනනොනගී. එහිදී සෘජුවම ශ්‍රී ලංකා රුපියල් ඉන්දියානු රුපියල් බවට පත්කරගත හැකිය. අනෙක් අතට දෙරටේ මුදල් ඒකක, වෙළඳ ගනුදෙනුවලදී ඩොලරය වෙත පරිවර්තනය කිරීමේදී දැරීමට සිදුවන අතරමැදි ගාස්තුවද මෙමගින් ඉතිරිකර ගැනීමේ හැකියාව ලැබෙන බවට විශ්වාසය පළ වනවා. ඒ අනුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ සෘජු භාවිතයට ගැනීම, රට මුහුණදී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ විශාල සහනයක් ලබාදෙන පියවරක් ලෙසයි පෙන්වා දී ඇත්තේ.

Share This