වියට්නාමයේ ”Kissing Rocks” කඩා වැටීමේ අවදානමක

වියට්නාමයේ ”Kissing Rocks” කඩා වැටීමේ අවදානමක

වියට්නාමයේ Ha Long Bay හි පිහිටා ඇති ‘Kissing Rocks’ නොහොත් සිපගැනීමේ කඳු කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Quang Ninh පළාතේ Ha Long Bay ප්‍රදේශය කුඩා දූපත් සිය ගණනකින් සමන්විත වනවා.

වාර්තාවලට අනුව වසරකට සංචාරකයින් මිලියන 4ක් පමණ මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බවයි සඳහන් වන්නේ.

ස්පර්ශ වන ලෙස පෙනෙන නිවුන් පාෂාණ හා එම පරිසරයේ ඇති මනස්කාන්තභාවය නිසා සංචාරකයින් අතර මෙම ස්ථානය ඉතා ජනප්‍රිය වනවා.

නමුත් මුහුදු මට්ටම ඉහළ යාම සහ ධීවර යාත්‍රා ඉතා සමීපව ගමන් කිරීම නිසා පාෂාණ ඛාදනයට හේතු වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

වියට්නාමයේ භූ විද්‍යා හා ඛනිජ සම්පත් ආයතනයේ Ho Tien Chung පවසන්නේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ අනවසර සංචාරක කර්මාන්තය පාෂාණ ඛාදනය වේගවත් කිරීමට හේතු වන බවයි.

විද්වතුන් විසින් පාෂාණයේ ගැඹුරු ඉරිතැලීම් නිරීක්ෂණය කරන ලද අතර, ඒවා සංරක්ෂණය කිරීමට පියවර නොගතහොත් ඒවා කඩා වැටිය හැකි බවට අනතුරු අඟවනවා.

සිදුවන හානිය අවම කිරීම සඳහා එම ප්‍රදේශය හරහා ගමන් කරන බෝට්ටු වල වේගය පැයට කිලෝමීටර 5-10 (පැයට සැතපුම් 3-6) දක්වා සීමා කිරීම ඇතුළුව නව රෙගුලාසි හඳුන්වා දෙන ලෙසයි පරිසර විශේෂඥයින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Share This