හොංකොං රාජ්‍යට සහ දකුණු චීනයට දරුණු ගංවතුර තත්ත්වයක්

හොංකොං රාජ්‍යට සහ දකුණු චීනයට දරුණු ගංවතුර තත්ත්වයක්

හොංකොං සහ දකුණු චීනයේ නගරවල වාර්තාගත ලෙස පවතින අධික වර්ෂාපතනය නිසා දරුණු ගංවතුරක් තත්ත්වයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං හි වීදි සහ උමං දුම්රිය ස්ථාන ගංවතුරින් යට වීමත් සමග පාසල් සහ සේවා ස්ථාන වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.

කාලගුණ කාර්යාංශය පවසන්නේ බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාව වසර 140කට පමණ පසු නගරයට බලපෑ විශාලතම වර්ෂාව බවයි.

හොංකොං බලධාරීන් පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 83 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ “කළු” වැසි කුණාටු සංඥාවක් නිකුත් කළ අතර, එය පැයකට මිලිමීටර් 70 ඉක්මවූ වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇඟවීමක් වනවා.

හොංකොං වැසි නිරීක්ෂණාගාරය පැයකට මිලිමීටර් 158.1ක වර්ෂාපතනයක් පතිත වන බව වාර්තා කළ අතර, එය 1884 වසරෙන් පසු වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

හොංකොං දේශ සීමාව හරහා ඇති ෂෙන්සෙන් නගරය – 1952 පසු එහි විශාලතම වර්ෂාපතනය වාර්තා කිරීමත් සමග දකුණු චීනයද අධික වර්ෂාපතනයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Guangdong පළාතේ සිය ගණනක් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන් හදිසි ගංවතුර ගැන අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය තවදුරටත් වැඩි වර්ධනය විය හැකි අතර ඒ සඳහා අවශ්‍ය කරන අපදා කළමනාකරණ කටයුතුවල නිරත වන ලෙසයි හොංකොං කාලගුණ කාර්යාංශය අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

Share This