රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු අහෝසි කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ අසුන නැවත ලබා ගැනීමට රුසියාව කළ ඉල්ලීම ඊයේ(10) රැස්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නැගෙනහිර යුරෝපීය කලාපීය කණ්ඩායමට වෙන් කරන ලද විවෘත අසුන් දෙකක් සඳහා බල්ගේරියාව සහ ඇල්බේනියාව සමග තරග කිරීමට රුසියාවට සිදු වුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 193 දෙනෙකුගෙන් රුසියාවට පක්ෂව ඡන්ද 83 ක් පමණක් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ 2024-2026 ධුර කාලය සඳහා මෙම මැතිවරණය පවත්වා තිබෙනවා.

එහිදී තම අසල්වැසියා වන යුක්‍රේනයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බටහිර නායකයින්ගේ දරුණු විවේචන නොතකා රුසියාව නැවතත් මේ අසුන ලබා ගැනීමට උත්සහ කළා.

කෙසේවෙතත් යුක්‍රේනයේ ග්‍රෝසා ගම්මානයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී දින කිහිපයකට පසුව මෙම ඡන්ද විමසීම සිදු කළ අතර එම මිසයිල ප්‍රහාරයත් දැඩි ලෙස එහිදී විවේචනයට ලක්වී තිබෙනවා.

2022 අප්‍රේල් මාසයේදී රටවල් 93 ක් රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි කිරීමට පක්ෂය ඡන්දය දුන් අතර රටවල් 24 ක් එම තීරණයට විරුද්ධ වුණා.

Share This