ගාසා තීරයේ සන්නිවේදන සබඳතා බිඳවැටේ

ගාසා තීරයේ සන්නිවේදන සබඳතා බිඳවැටේ

 

හමාස් ම්ලේච්ඡ ක්‍රියාවලට ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රතිප්‍රහාර දියත් කරන බැවින් අන්තර්ජාලය ප්‍රවේශය හැකිලීමත් සමඟ ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාවකට සන්නිවේදන සබඳතා අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔක්තෝබර් 7 වැනි දින ප්‍රථමයෙන් සටන් ඇවිළී යාමෙන් පසු අද වන විට ගාසා තීරය සම්පූර්ණ අන්තර්ජාල බිඳවැටීමට ආසන්න වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.

අන්තර්ජාල නිරීක්ෂකයෙකු වන NetBlocks විසින් ජාල විශ්ලේෂණයට අනුව, ඊශ්‍රායලය දියත් කරන දැඩි ගොඩබිම් ප්‍රහාර මධ්‍යයේ ගාසා හි අන්තර්ජාල සම්බන්ධතාව ඔක්තෝබර් 27 වන දින එහි පහළම මට්ටමට වැටී තිබෙනවා.

ලන්ඩන් හි පිහිටි අන්තර්ජාල ඇනහිටීම් නිරීක්ෂණ ආයතනයක් වන NetBlocks පවසන්නේ, කලාපයේ අවසාන ප්‍රධාන අන්තර්ජාල ක්‍රියාකරු වන Paltel, එහි ජාත්‍යන්තර මාර්ගවලට හානි සිදුවී ඇති බවයි.

ගාසා තීරයට ජංගම සේවා සපයන තවත් පලස්තීන ටෙලිකොම් සමාගමක් වන Jawwal නිකුත් කර ඇති නිවේදනයකට අනු පසුගිය පැය තුළ ඇති වූ දැඩි බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය බාහිර ලෝකය හා සම්බන්ධ කරන ඉතිරිව ඇති සියලුම ජාත්‍යන්තර මාර්ග විනාශ වී තිබෙනවා.

එමෙන්ම විදුලි සංදේශ සේවා සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවද සඳහන්.

Share This