යුවළක් ඝාතනයට පොලිස් නිලධාරියෙකුට චෝදනා – එක් අයෙක් ඔහුගේ පැරණි පෙම්වතෙක් (VIDEO)

යුවළක් ඝාතනයට පොලිස් නිලධාරියෙකුට චෝදනා – එක් අයෙක් ඔහුගේ පැරණි පෙම්වතෙක් (VIDEO)

අතුරුදන් වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙකු වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

සිඩ්නි නගරය ආසන්නයේ බඳුනක තිබී යුවළගේ ලේ තැවරී ඇති භාණ්ඩ සොයා ගැනීමෙන් පසු රහස් පරීක්ෂකයින් බදාදා සෝදිසියක් දියත් කර තිබෙනවා.

බෙයාර්ඩ්ගේ හිටපු පෙම්වතා වන පොලිස් නිලධාරී බියුමන්ට්ව සිඩ්නි පොලිසිය විසින් සොයමින් සිටි අතර ඔහු අද(23) පොලිසියට භාරවූ බව සඳහන්.

රහස් පරීක්ෂකයින් පවසන්නේ ඔවුන් තවමත් මේ යුවළගේ සිරුරු සොයා ගැනීමට හෝ ඔවුන්ගේ මරණයට හේතුව තහවුරු කර නොමැති බවයි.

සිඩ්නි නගරාසන්නයේ පිහිටි පැඩිංටන් හි පිහිටි ජෙසී බෙයාර්ඩ්ගේ නිවස තුළදී ඔවුන් ඝාතනය කර පසුව එම සිරුරු සුදු වෑන් රථයකින් ගෙන යන ආකාරය cctv දර්ශනවල දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

අද උදෑසන සිඩ්නි හි දකුණු ප්‍රදේශයේ තිබී එම වෑන් රථය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

නිව් සවුත් වේල්ස් පොලිසිය පවසා ඇත්තේ සිද්ධියට සැක කරන පොලිස් නිලධාරී බියුමන්ට්වගේ රාජකාරී සඳහා නිකුත් කරන ලද තුවක්කුවට ගැළපෙන උණ්ඩයක් පැඩිංටන් හි අපරාධ ස්ථානයෙන් සොයාගත් බවත් සැළකිය යුතු ලේ ප්‍රමාණයක් සහ ගෘහ භාණ්ඩ ද සොයාගත් බවත්ය.

පොලිස් නිලධාරී බියුමන්ට් අඟහරුවාදා(20) සේවයට වාර්තා කර නොමැති වුවත් ඔහුගේ තුවක්කුව පොලිස් ස්ථානයේ සේප්පුවක තිබී ඇති බව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

සැකකාර බියුමන්ට් වෙතින් මෙතෙක් ලබා ගත් තොරතුරු විමර්ශනයට සහය වී නොමැති අතර මහජනතාවගෙන් ලැබුණු තොරතුරු විශාල උපකාරයක් වූ බවයි ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.

බෙයාර්ඩ් Network 10හි වැඩසටහන ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර ඩේවිස් Qantas හි ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කළා.

යුවලගේ ඡායාරූප ඔවුන් අතුරුදහන් වූ දා සිට සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ව්‍යාප්ත වුණා.

සැකකාර පොලිස් නිලධාරී බියුමන්ට් 2019 දී පොලිස් බලකායට සම්බන්ධ වූ බව සඳහන්.

ජෙසී බෙයාර්ඩ් සමග පොලිස් නිලධාරියාගේ සම්බන්ධතාවය මාස කිහිපයකට පෙර අවසන් වී ඇති අතර ඒ මත පදනම්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි සිඩ්නි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

Share This