ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් 60 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් 60 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් බලධාරීන් පවසනවා.

බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් පසු පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සති කිහිපය තුළ රට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයකට මුහුණ දුන් අතර, අප්‍රේල් මැද සිට ගංවතුර හේතුවෙන් මිනිසුන් ගණනාවක් අවතැන්ව ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි පවසා ඇත්තේ බොහෝ මරණ වාර්තා වී ඇත්තේ බග්ලාන් පළාතේ බෝර්කා දිස්ත්‍රික්කයෙන් බවයි.

එමෙන්ම 200කට වැඩි පිරිසක් එහි නිවෙස් තුළ සිරවී සිටිනවා.

නිවාස අහිමි වූ ඇතැම් පවුල් සඳහා කූඩාරම්, බ්ලැන්කට් සහ ආහාර ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කාබුල් සහ උතුරු ඇෆ්ගනිස්ථානය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගය වසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This