ඇෆ්ගනිස්ථානයේ වෙඩි ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ වෙඩි ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ දී ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු වෙඩි තබා මරා දමා තිබෙනවා.

එහිදී ඇෆ්ගන් ජාතිකයෙකු ද මිය ගොස් ඇති අතර තවත් විදේශිකයන් හතර දෙනෙකු සහ ඇෆ්ගන් ජාතිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි පැවසුවේ පුද්ගලයන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම රජය මෙම අපරාධය දැඩි ලෙස හෙළා දකින අතර, සියලු අපරාධකරුවන් සොයාගෙන දඬුවම් කරන බවට සහතික වන බවට ඇෆ්ගන් රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේදී ස්පාඤ්ඤ සංචාරකයින් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තියෙන් තමන් කම්පනයට පත් වූ බවයි.

කඳුකර බාමියන් ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වන අතර 2001 දී තලේබාන්වරුන් විසින් පුපුරුවා හරින ලද විශාල බුද්ධ ප්‍රතිමා දෙකක නටඹුන් ද එහි ඇති බව සඳහන්.

Share This