ග්‍රාම නිලධාරී ගැටලු විසඳීමට රජයේ අවධානය (VIDEO)
ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමග ගැටීමක් ඇති නොවන අයුරින් එම විසඳුම් ලබාදෙන ලෙසයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ.
ඒ මහතා මෙම උපදෙස් ලබාදී තිබෙන්නේ ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව එම වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී.
මෙහිදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පෙන්වාදී ඇත්තේ ග්‍රාම නිලධාරී සේවයේ උසස්වීම් පිළිබඳව ගැටලු රැසක් මතුවී ඇති බැවින් ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවයි.
ඒ අනුව මේ වන විට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙසයි සාගල රත්නායක මහතා දැනුම් දී තිබෙන්නේ.
ග්‍රාමීය මට්ටම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන වසර 61ක් පැරණි සේවාවක් බැවින් ඒ සඳහා සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇති බවද ඒ මහතා සඳහන් කළා.
මෙහිදී සාගල රත්නායක මහතා පැවසුවේ විවිධ ගැටලු මධ්‍යයේ වුවද ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය කටයුතු වෙනුවෙන් ලබාදෙන දායකත්වය අගය කළයුතු බවයි.