හෙට ආරම්භ වන 20-20 ලෝක කුසලානය

හෙට ආරම්භ වන 20-20 ලෝක කුසලානය

ලොව ප්‍රබල කණ්ඩායම් 20ක් එක් ලෝක කුසලානයක් සඳහා තරග වදින පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙන් හෙට (2) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලානයක් අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා අතරට එක්වන බවයි සඳහන් වන්නේ.

තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකාව සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසෙනවා.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 6.00ට ආරම්භ වීමට නියතමිතයි.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් ද හෙට තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේදී A, B, C, D වශයෙන් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙනවා.

එහි D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදීමට නියමිතව ඇති අතර ඊට ඇතුළත් සෙසු රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තයයි.

ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන පළමු තරගය ජූනි මස 3 වැනිදා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙනවා.

දෙවැනි තරගය, 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශය සමගයි.

එමෙන්ම මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන තෙවැනි තරගය 12 වැනිදා නේපාලය සමගින් පැවැත්වීමට නියමිතව ඇති අතර සිව්වන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 17 වනදා නෙදර්ලන්තය සමගයි.

Share This