ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ මගේ ජය පැරදුම නෙමෙයි, රටේ ජය පැරදුමයි -ජනපති රනිල් (VIDEO)

ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ මගේ ජය පැරදුම නෙමෙයි, රටේ ජය පැරදුමයි -ජනපති රනිල් (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රජයේ වැඩපිළිවෙල සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවද එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයාගත නොහැකිව මෙන්ම ඉන්ධන ගෑස් පෝලිම්වල ජනතාවට දුක් විඳීමට සිදුවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට සහභාගී වෙමින්.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අද වේදිකාව මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.

මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරැද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදෙන ලෙසද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව සඳහන්.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ ඒ හැර වෙනත් ක්‍රමවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින බවයි.

Share This