කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය අනුව ශ්‍රී ලංකාවට ලැබුණු තැන

කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය අනුව ශ්‍රී ලංකාවට ලැබුණු තැන

කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය අනුව ශ්‍රී ලංකාව රටවල් 185ක් අතරින් ලොව 165 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත මගින් මේ බව සඳහන් කරන අතර මෙරට කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ගෝලීය සාමාන්‍ය 49% අගයට වඩා අඩුවෙන් 32%ක අගයක් පෙන්නුම් කරන බවයි එමඟින් දක්වා ඇත්තේ.

අදාළ ගණනය කිරීම් සිදු කිරීමේදී වැටුප් නොලබන සේවකයින්, පවුල් භාරකරුවන්, සිසුන් සහ හමුදා නිලධාරීන් ගණන් කිරීම බැහැර කර තිබෙනවා.

දේශීය හා ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පරමාදර්ශය සහ කාන්තාවන් සඳහා ගෙවීම්වල විෂමතාව හදිසි අවධානයක් අවශ්‍ය වීම තීරණාත්මක ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට කාන්තා විරැකියා අනුපාතය 2023 වසරේ දී 7% දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 6.5%ක ඉහළ යාමක් වනවා.

මීට අමතරව අදාළ අධ්‍යයනවලින් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් දිනකට පැය 6.5ක් වැටුප් නොලබන සත්කාරක රැකියාවක නිරත වන බවයි.

එමෙන්ම මෙරට ශ්‍රම බලකායට දායකත්වය දක්වන කාන්තාවන් මුහුණදෙන තවත් ගැටලු කිහිපයක් එම අධ්‍යයන මගින් පෙන්වාදෙන අතර ඒ අනුව ආරක්ෂිත සහ දැරිය හැකි ළමා ආරක්ෂණ පහසුකම් නොමැතිකම, නම්‍යශීලී වැඩ කරන වේලාවන් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම සහ රැකියාවක් සොයන විට කාන්තාවන් මුහුණ දෙන සැලකිය යුතු බාධක ඇතුළුව ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරයට දායක වන සාධක කිහිපයක් විශේෂඥයින් ලැයිස්තුගත කර තිබෙනවා.

මැඩගස්කරය, සොලමන් දූපත් සහ බුරුන්ඩි යන රටවල් කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය සහිත ඉහළම රටවල් බවට ලැයිස්තුගත කර ඇති අතර ඇෆ්ගනිස්ථානය, යේමනය සහ ඉරාකය ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය අඩු රටවල් බවටයි අදාළ දත්ත මගින් දක්වා ඇත්තේ.

Share This