අමෙරිකාවෙන් ඩොලර් බිලියන 1.5ක බලශක්ති ආධාර පැකේජයක් යුක්‍රේනයට

අමෙරිකාවෙන් ඩොලර් බිලියන 1.5ක බලශක්ති ආධාර පැකේජයක් යුක්‍රේනයට

අමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් යුක්‍රේනයට ඩොලර් බිලියන 1.5ක බලශක්ති අංශය සඳහා විශේෂ වූ ආධාර පැකේජයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ පැවති යුක්‍රේන සාම සමුළුවකදී ප්‍රකාශයට පත් කරන ලද මෙම අරමුදල් රුසියානු බෝම්බ ප්‍රහාරවලින් හානියට පත් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට උපකාරී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ රටේ බලශක්ති නිෂ්පාදන ධාරිතාවයෙන් අඩක් යුද්ධයෙන් විනාශ වී ඇති බවයි.

බලශක්ති යටිතල පහසුකම් සහ නාගරික මධ්‍යස්ථාන යන දෙකම ආරක්ෂා කිරීම සඳහා වැඩි ගුවන් ආරක්‍ෂාවක් සපයන ලෙස ඔහු බටහිර රටවලින් ඉල්ලා ඇති අතර ඊට ඇතැම් රටවල් මේ වනවිටත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වනවා.

යුද්ධයෙන් විපතට පත්ව අවතැන් වූ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 369 ක් මානුෂීය ආධාර ලෙස ලබාදීමට අමෙරිකාව ප්‍රතිඥා දී ඇති අතර දේශසීමා ආරක්ෂකයින් සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජීවිතාරක්ෂක උපකරණ සැපයීම සඳහා තවත් ඩොලර් මිලියන 300 ක් යැවීමට සැලසුම් කර තිබෙනවා.

යුද්ධයේ ආරම්භයේ සිට අමෙරිකාව යුක්‍රේනය සඳහා මානුෂීය ආධාර ඩොලර් මිලියන 3.2 කට වඩා වැඩි මුදලක් වැය කර ඇති අතර බලශක්ති අංශය සඳහා ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන්.

Share This