මන්නාරම රදගුරු හිමිපාණන් හමුවූ ජනපති

මන්නාරම රදගුරු හිමිපාණන් හමුවූ ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදුව තිබෙනවා.

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි පෙන්වාදී ඇත්තේ.

මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුවූ අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.

අදාළ හමුවේදී මන්නාරම ධීවර ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

Share This