සේවකයන්ට ගෙවන මුදලට වඩා සුනඛයා වෙනුවෙන් වියදම් කළ හාම්පුතුන් උසාවි කැඳවයි

සේවකයන්ට ගෙවන මුදලට වඩා සුනඛයා වෙනුවෙන් වියදම් කළ හාම්පුතුන් උසාවි කැඳවයි

එක්සත් රාජධානියේ ධනවත්ම පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුට එරෙහිව ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නඩු විභාගයක් පැවැත්වෙන බව වාර්තා වනවා.

ඒ ඔවුන් තම සුනඛයා රැකබලා ගැනීම සඳහා තම සේවකයන්ට වඩා වැඩි මුදලක් වියදම් කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව ඩොලර් බිලියන 47ක පමණ වත්කම් ඇති හින්දුජා පවුල සූරාකෑම සහ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙනවා.

මෙම පවුලට ජිනීවාහි අසල්වැසි ප්‍රදේශයක් වන කොලෝනි හි විලා එකක් ඇති අතර, ඔවුන්ට එරෙහි චෝදනා සියල්ලම ඔවුන්ගේ දරුවන් සහ නිවස බලා ගැනීම සඳහා ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වීම සඳහා සම්බන්ධ බව සඳහන්.

ප්‍රකාශ් සහ කමල් හින්දුජා, ඔවුන්ගේ පුත්‍රයා වන අජේ සහ ඔහුගේ බිරිඳ නම්රතා සමඟ එක්ව කාර්ය මණ්ඩලයේ විදේශ ගමන් බලපත්‍ර රාජසන්තක කර, පැය 18ක් සඳහා ඩොලර් 8ක් වැනි සුළු මුදලක් ගෙවා, ඔවුන්ට නිවසින් පිටවීමට නිදහස ලබා නොදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය සතියේ මෙම ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් මූල්‍ය සමථයකට එළඹුණද, ස්විට්සර්ලන්තයේ බරපතළ සාපරාධී වරදක් වන ජාවාරම් සම්බන්ධයෙන් හින්දුජාවරුන්ට එරෙහිව තවමත් නඩු විභාග වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මෙම ධනවත් පවුල සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර නඩුවේ ප්‍රගතිය ගැන ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අවධානයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This