වියට්නාමයට ගිය පුටින්

වියට්නාමයට ගිය පුටින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන දිනයේදී වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා.

ඔහුගේ උතුරු කොරියාවේ අතිවිශිෂ්ට සචාරයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා මෙලෙස වියට්නාමයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වියට්නාම සංචාරය රුසියාව තවමත් කලාපය තුළ භුක්ති විඳින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් ලෙස අර්ථකථනය කෙරෙනවා.

යුක්‍රේනයේ යුද්ධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති පුටින්ට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙම සංචාරය විවේචනය කර ඇති බව සඳහන්.

වියට්නාමය යුරෝපය හා එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතරම රුසියාව සමඟ ඇති ඓතිහාසික සබඳතා තවමත් අගය කරන බවයි වාර්තා වන්නේ.

හැනොයි ප්‍රදේශයේ බා ඩින් කුඩා උද්‍යානයක ඇති මීටර් පහක් උස ලෙනින්ගේ ප්‍රතිමාවට සෑම වසරකම ඔහුගේ උපන්දිනයේදී වියට්නාමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝජිත පිරිසක් අනුස්මරණ උත්සවයක් පවත්වනවා.

මෙම ප්‍රතිමාව විශේෂ වන්නේ එය රුසියාවෙන් ලැබුණු ත්‍යාගයක් නිසා බව සඳහන්.

1950 ගණන්වල උතුරු වියට්නාමයේ නව කොමියුනිස්ට් රාජ්‍යයට සෝවියට් සංගමය විසින් ලබා දුන් අත්‍යවශ්‍ය මිලිටරි, ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය දක්වා රුසියාව සමඟ වියට්නාමයේ සබඳතා සමීප වන අතර එය දශක ගණනාවක් ඈතට දිව යනවා.

වියට්නාමය ඔවුන්ගේ හා රුසියාව අතර ඇති සම්බන්ධතාවය විස්තර කර ඇත්තේ එය පක්ෂපාතීත්වය සහ කෘතඥතාවයෙන් පිරී ඇති බවයි.

එක්සත් ජනපදය ජනාධිපති පුටින්ගේ වියට්නාමයේ නිල සංචාරයට විරුද්ධ වී ඇත්තේ ඔහු හුදකලා කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයන් අඩපණ කරන බව පවසමින්.

Share This