රුසියාවට යවා සිසුන් අතරමං කළ සැකකරුවෙකු අත්අඩංගුවට

රුසියාවට යවා සිසුන් අතරමං කළ සැකකරුවෙකු අත්අඩංගුවට

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන එරට අතරමං කළ පුද්ගලයෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු රුසියාවේ උසස් අධ්‍යාපනය සඳහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන්දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගෙන මෙසේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහිව මාතර මූලස්ථානය පොලිසිය වෙත පැමිණිලි 17ක්ද, කුලියාපිටිය පොලිසියට පැමිණිලි 02 ක්ද, කුරුණෑගල පොලිසියට පැමිණිලි 03 ක්ද, නාරාහේන්පිට පොලිසියට එක් පැමිණිල්ලක් ද ලැබී තිබු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Share This