ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇතිවූ ජාත්‍යන්තර විශ්වාසය නිසයි -ඇමති ශෙහාන් සේමසිංහ-

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇතිවූ ජාත්‍යන්තර විශ්වාසය නිසයි -ඇමති ශෙහාන් සේමසිංහ-

ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනගා ගත් විශ්වාසය හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්මත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉදිරියට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවයි.

ණය ප්‍රතිවිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ණය ගෙවීමේ කාලය 2043 දක්වා දීර්ඝ වන අතර ඒ සඳහා වන ණය පොලී අනුපාතයද පහළ යන බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රතිවිව්‍යුහගතකරණය, ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීම යන කොටස් තුනේ පළමු පියවර දෙක සාර්ථකව අවසන් කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් මෙරට ණය ගෙවීමේ හැකියාව ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එමඟින් සාමාන්‍ය ජනතාව වෙත ලබාදිය හැකි ප්‍රතිලාභ ප්‍රමාණයද ඉහළ යන බවයි අමාත්‍යවරයා පෙන්වාදී තිබෙන්නේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙම කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අද ලොවම ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික යථාවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උදාහරණයට ගන්නා බවද වැඩිදුර අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

Share This