විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කිරීම ලබන සතියේ

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කිරීම ලබන සතියේ

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා.

අද (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇති බව සඳහන්.

මේ අනුව ජූලි 2 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 5.00 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව බව නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

ජූලි 3 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට තීරණය කර ඇති අතර අනතුරුව ප.ව 5.00 මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Share This