පක්ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස ප්රවාහනය කළ සැකකරුවන් කොටු (VEDIO)
පක්ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්රාවක් සමඟ සැකකරුවන් 05 ක් දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, පක්ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ තොරතුරු විශ්ලේෂණයකට අනුව මෙම මෙහෙයුමේදී දකුණු මුහුදේ යාත්රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්රාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම බහුදින ධීවර යාත්රාව තුළ නීති විරෝධී ලෙස ප්රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03 ක් සමඟ එම බහුදින ධීවර යාත්රාව සහ සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස නාවික හමුදාව භාරයට ගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්රාව ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යාත්රාවේ රැගෙන ආ සතුන් පරීක්ෂා කර එම සතුන් ශ්රීලංකාවට ආවේණික නොවන සතුන් බවට හඳුනාගෙන තිබෙනවා.
මීගමුව ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සතුන් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්රාවේ සැකකරුවන් අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන්.
බහුදින ධීවර යාත්රාව සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු හික්කඩුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන බවයි වාර්තා වන්නේ.