ශ්‍රී ලංකාවේ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

ශ්‍රී ලංකාවේ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වාදීම අද (18) සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී.

සහනදායි පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේද පැවති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබාදීම සිදුකරන බව සඳහන්.

ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කර තිබෙනවා.

මෙහිදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර ඇති බව සඳහන්.

එමෙන්ම අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස වසර 5ක කාල සීමාවකට යටත්ව 8%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.

Share This