ප්‍රමුඛ පාසල් සුහුරු පාසල් ලෙස සංවර්ධන කර එක් ජාලයකට ගැනීමට හැකි සේ සංවර්ධනය කරනවා -ඇමති සුසිල් ප්‍රේමජයන්ත-

ප්‍රමුඛ පාසල් සුහුරු පාසල් ලෙස සංවර්ධන කර එක් ජාලයකට ගැනීමට හැකි සේ සංවර්ධනය කරනවා -ඇමති සුසිල් ප්‍රේමජයන්ත-

ඉදිරි මාස කිහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවයි.

ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එසේම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන්ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතුව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක්ම වනු ඇතැයි ප්‍රකාශ කළ බව සඳහන්.

එමෙන්ම ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක්කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහා කර සිටියේ 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවයි.

Share This