
පළාත් සභා හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගේ සහය ජනපතිට
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ලේ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම කඩ කළ නොහැකි බවත්, මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත්. ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන අතර එය තරයේ හෙළාදකින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවයි එහිදී ප්‍රකාශ කර ඇත්තේ.