ඇවිලුණු ගින්න නිවන්න ගිය ගෙහිමියා විදුලි සැරෙන් මරුට

ඇවිලුණු ගින්න නිවන්න ගිය ගෙහිමියා විදුලි සැරෙන් මරුට

දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ හිමිකරු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මොහු ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ දංකොටුව බුජ්ජම්පොල, විජයගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙක්.

මෙම ගිනි ඇවිලීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිදුකළ ප්‍රකාශයකට අනුව අසල්වාසී දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ ඇති කරගත් පුද්ගලික ආරවුලක් සහ ඔවුන් විසින් සිදුකළ තර්ජනයක් සම්බන්ධයෙන් පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව යමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඔවුන්ගෙන් පාපොච්ඡාරණයන් සහ අනෙකුත් සාක්ෂි ද ලැබී ඇති බව සඳහන්.

ගින්නෙන් නිවසේ තිබූ යතුරුපැදි දෙකක් මුලුමනින්ම විනාශ වී ඇති අතර නිවසටත් විශාල ලෙස හානි සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාරවිල පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.

Share This