ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් ගැරූවෙක් කොටු

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් ගැරූවෙක් කොටු

ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුවන්වැල්ල නගරයේ “ආරාධනා” නමින් නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින්, ඩුබායි රාජ්‍යයේ විදේශ රැකියා ලබාදීම සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම සැකකරු මුදල් ලබාගෙන ඇති බව සඳහන්.

මෙහිදී සැකකරුට එරෙහිව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 15ට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි වාර්තා වන්නේ.

මීට පෙර මෙම විදේශ රැකියා ආයතනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එහි වංචාවන් පිළිබඳව අනාවරණය වීමෙන් පසු, කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් පසුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම නීති විරෝධී ආයතනය පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇති බවට විමර්ශන අංශයට කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි වාර්තා වන්නේ.

Share This