ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඇගයීමට

ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඇගයීමට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බවත්, ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සමීපතාව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර අඛණ්ඩ සහ ස්ථාවර මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම ඉන්දීය මහ කොමසාරිස්වරයා එම හමුවේදී පෙන්වා දී ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද අගය කර ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා, ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බවයි සඳහන් කර ඇත්තේ.

මේ අතර දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට ජපාන රජයේ පුර්ණ සහය ලබාදෙන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Share This