ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලීසිය කරන දැනුම්දීම

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලීසිය කරන දැනුම්දීම

ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීම්වලට නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට දුරකථන ඇමතුම් ලැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි වාර්තා වී තිබුණා.

ඔවුන් පැමිණි වාහනය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙස අදාළ පාර්ශ්වයන් වෙතට දැනුම් දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති අතර එහිදී ඇතැම් ස්ථාන මගින් මුදල් ලබාදීම් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඇතැම් විට මෙහිදී දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් සැලසුම් සහගත ලෙස උපක්‍රමශීලීව කථා කරමින් මෙම මුදල් වංචා කිරීම් සිදුකරන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අදාළ දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවත් මෙය සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියාවක් බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරන පොලිසිය තමාට එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් හෝ එම ආපදාවට ලක්වූ බව සඳහන් කරන පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරමින් මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This