සූකර උණ පැතිරීම වළක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

සූකර උණ පැතිරීම වළක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදියි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එමඟින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාධිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම යන කටයුතු අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම ආසාධිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය හා තරග පැවැත්වීම, ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස්වලින් නිශ්පාදන සකස් කිරීම ද අදාළ ගැසට් නිවේදනය මගින් තහනම් කර ඇති බව සඳහන්.

අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වු හෝ ආසාධිත වූ බවට සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම මෙන්ම රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථානගත කිරීම ද ඒ හරහා තහනම් කර තිබෙනවා.

Share This