බදු ගෙවීම පැහැර හැරියාට ජනක රත්නායකට නඩු
රජයට අයවිය යුතු රුපියල් කෝටි 3කට වැඩි වැට් සහ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඔවුන් දෙදෙනාට අයත් සමාගම් දෙකක අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් මෙලෙස බදු පැහැර හැර ඇති බවටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී ජනක රත්නායක මහතා හෝ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්.
ඒ වෙනුවට සමාගමේ අධ්යක්ෂවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටින බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නා.
කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ අදාළ වගඋත්තරකරුවන්ට නොතේසි භාරදී ඇති බවයි.
ඒ අනුව ජනක රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන්ට ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.