ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අධිකරණ තීන්දුව ප්‍රකාශයට
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බව සඳහන්.
එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.
ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.