දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් කොමියුනිස්ට් බලවේගවලින් එල්ලවන තර්ජන හමුවේ යුද නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා.

ඒ, දකුණු කොරියාව ආරක්ෂා කිරීමට සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ පරාජය කිරීමට අවශ්‍ය බව පවසමින්.

කෙසේවෙතත් එය ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුද නීතිය ප්‍රකාශ කළ පළමු අවස්ථාව ලෙස සැලකෙන අතර ඊට දැඩි මහජන විරෝධයක් ද එල්ල වූ බව සඳහන්.

පසුව හදිසි පාර්ලිමේන්තු ඡන්දයකින් පසු පැය කිහිපයක් තුළ හදිසි නීතිය අවලංගු කිරීමට නීති සම්පාදකයින් පියවර ගත්තද විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබූ නමුත් එම උත්සාහය ව්‍යර්ථ වුණා.

කෙසේවෙතත් එරට විපක්ෂ විසින් නැවත වරක් දෝෂාභියෝගයක් ගෙන ආ ආතර එය පාර්ලිඑමෙන්තුවේදී සම්මත වී Yoon Suk Yeol ජනාධිපති ධුරයෙන් පහ කෙරුණු අතර සෝල් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ, යුද නීතිය සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළ සහය ලබානොදෙන බව පවසමින්.

කෙසේවෙතත් Yoon Suk Yeol අත්අඩංගුවට ගැනීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබානොදුන් අතර ඔහුගේ ආධාරකරුවන්ද නිල නිවස අසල විශාල වශයෙන් සහය පළ කරමින් සිටි ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

දෙවන වරටත් දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් විසින් Yoon Suk Yeol අත්අඩංගුවට ගැනීමට ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර හිමිවූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් පැමිණියද නිල නිවස කටු කම්බි යොදා අවහිර කර ඇති ආකාරයයි දක්නට ලැබුණේ.

අනතුරුව ඒවා කපා ඉවත් කරමින් Yoon Suk Yeol ගේ නිවසට ඇතුළු වූ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අතර අදාළ මෙහෙයුම් සඳහා නිලධාරීන් 3200කට අධික පිරිසක් යොදවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අවස්ථාවේදී අදාළ විමර්ශන නිලධාරීන් සහ Yoon Suk Yeol ගේ ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තා.

කෙසේවෙතත් අත්අඩංගුවට පත්වීමට පෙර වීඩියෝවක් නිකුත් කරමින් Yoon Suk Yeol ප්‍රකාශ කළේ ලේ වැගිරීමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා තමන් නිලධාරීන් භාරයට පත්වන නමුත් එය එරට දූෂණ විමර්ශන කාර්යාලය එල්ල කරන චෝදනා පිළිගැනීම සඳහා වන සූදානමක් නොවන බවයි.

Share This