බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් -ජනපති අනුර-

බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් -ජනපති අනුර-

නීති රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බවත් එනයින් බෞද්ධ සම්ප්‍රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදී ඇති බව සඳහන්.

බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය ජුනි 30 වන දා සිට ජූලි 05 වන දා අතර විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන බව සඳහන්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවසරකට වරක් සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය ගරු කටයුත්තක් ලෙස රජය සලකන බැවින්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Share This