ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් පත්‍ර කිහිපයකට මුදල් කාරක සභාවේ අනුමැතිය
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට අදාළ අනුමතිය ලබා දී ඇති බව සඳහන්.
2018 වසරේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමග එළැඹි නිදහස් වෙළෙඳ ගිවිසුම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවයි නිලධාරීන් මෙහිදී සඳහන් කර සිටියේ.
මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී තිබෙනවා.
මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනනයනයේදී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුවන බව සඳහන්.
ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීන් විසින් දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිළි කර තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදුසහන සැලසීමට අදාළ නිවේදනය ද කාරක සභාවේදී නැවත සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම 2022 වසරේ එළැඹි ගිවිසුමකට අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ මෙම නිවේදනය පළකර තිබෙනවා.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ නියෝජිතයෙකු විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම කාරක සභාවට පැහැදිළි කළ අතර රෙදිපිළි නිෂ්පාදනයට අදාළ රෙදිපිළි වර්ණ ගැන්වීම, රෙදි විවීම ආදි කාර්යයන් එකම භූමියක සිදුවන බවද එම නිවේදනයේ සඳහන්.
තවද අමෙරිකානු ඩොලර් මිලියන 35ක මෙම ව්‍යාපෘතියෙන් විදේශ විනිමය වියදම් අඩුකිරීම අරමුණු කරගෙන ඇති අතර දේශීය රැකියා අවස්ථා 490ක් පමණ හිමිවන බවයි වාර්තා වන්නේ.
ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට සමගාමීව තරගකාරී වෙළෙඳපොළ අත්පත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් බව පෙන්වා දුන් කාරක සභාව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් සමානාත්මතාවයෙන් යුතු බදු ප්‍රතිපත්පතියක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,