වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් අද (23) කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන්, බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළෙඳ සැල්හි විමර්ශන හා වැටලීම් සිදුකර ඇති බව සඳහන්.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කරන ලද වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇති අතර සහල් සඟවාගෙන සිටි වෙළෙන්දෙකු සහ කල් ඉකුත් වූ සහල් ගබඩා කරගෙන සිටි වෙළෙඳ සැලක් ද නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය මඟින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන අතර එම වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව සඳහන්.

එමෙන්ම රාත්‍රී කාලයේදී ද විශේෂ විමර්ශන සිදුකර වෙළෙඳුන් විසින් වැඩි මිලට සහල් අලෙවි කරන්නේද යන්න සොයා බලා වැටලීම් සිදුකරන ලෙසත් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Share This