ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක් තැබූ ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක් තැබූ ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිටියදී සිය ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.

මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 617ක් වන අතර මීට වසර 30කට පමණ පෙර එය රැස් කරගෙන තිබුණා.

ඕස්ට්‍රේලියානු ඉනිමේදී ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් වූ අතර ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

තරගයේ දෙවන දිනය වූ අද දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.

Share This