
ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස ඇමති විජිත ඉතාලි තානාපතිගෙන් ඉල්ලයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම අවස්ථාවේ දැනට ඉතාලියේ රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් කළ විමසීමකට අනුව ඉතාලි රජය විසින් රටවල් කිහිපයකට රැකියා වීසා ලබාදීම නැවත විමර්ශනයකට ලක්කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් එය තාවකාලික පියවරක් බවයි ඉතාලි තානාපතිවරයා සඳහන් කර සිටියේ.
ශ්‍රී ලාංකිකයින්ට රැකියා වීසා ලබාදීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බට එහිදී තානාපතිවරයා එකඟ වී ඇති බව සඳහන්.
තවදුරටත් අමාත්‍ය විජිත හේරත් මහතා ඉතාලි රාජ්‍යයේ තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම අප්‍රමාදීව අවසන් කිරීමට සහය වන බවයි.
එමෙන්ම දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන ආමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට සෑම සහයක්ම ලබාදෙන බවටත් තානාපතිවරයා එකඟ වී තිබෙනවා.
ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන මට්ටමේ සාකච්ඡා අවසන් කර ඇති ගිවිසුම් නුදුරේදීම අවසන් කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම සංක්‍රමණික සහ සංචරණ සබඳතාවයක් පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා කර අවසන් බැවින් එයද නුදුරේදීම අත්සන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළවී තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 වර්ෂයේදී ආරම්භ කර මේ වන විට ඉතාලිය ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ අතරින් 05 වන ස්ථානය දිනාගෙන ඇතැයි පෙන්වාදුන් තානාපතිවරයා දැනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 02 කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවත් 2024 වර්ෂයේ ඉතාලි සංචාරයකින් 38709ක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවද සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව හා ඉතාලි ජනරජය අතර පවතින ආර්ථික, සංස්කෘතික හා සංචාරක අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තානාපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉතාලි රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම දක්වන සහයෝගය අගය කර සිටියා.