අමෙරිකාවේ ආධාර ගත්ත මෙරට ක්‍රියාත්මක NGO ගැන පරීක්ෂණ කළ යුතුයි -නාමල් රාජපක්ෂ

අමෙරිකාවේ ආධාර ගත්ත මෙරට ක්‍රියාත්මක NGO ගැන පරීක්ෂණ කළ යුතුයි -නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සිය “X” ගිණුමේ සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු අතර ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය බටහිර මාධ්‍ය සමග මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බව ඔහු සිය “X” පණිවිඩයෙන් පෙන්වාදෙනවා.

මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇති බව පෙන්වාදෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි සඳහන් කරන්නේ.

අදාළ ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බව ඔහු සිය X පණිවිඩයෙන් දක්වා තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවකට සිට සඳහන්ව තිබුණත් එය තවමත් සිදු කර නොමැති බැවින් විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය X පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This