සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය සහ පුළුල් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත් ඒවා සාර්ථක වී නැහැ.

එම කාර්යය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපායමාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනාගැනීම සඳහාත්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයාබලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.

කෙසේවෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර වත්මන් රජයේ බලශක්ති ප්‍රතිපත්ති රාමුව යටතේ දැනට පවත්නා පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ඉඳිකිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව 2022 වර්ෂයේදී සිදු කරන ලස ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව සුදුසු ආයෝජන හවුල්කරුවෙකු හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීමේ පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මූල්‍ය සම්පාදක/ආයෝජකයින් හඳුනාගැනීම සහ තෝරාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share This