පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරේ

පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරේ

පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරෙනවා

ඒ නිමිත්තෙන් අද (16) දින එම පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා

මීට පෙර පැවති රජයන්හි අදූරදර්ශී ක්‍රියාකලාපයන් හේතුවෙන් පින්නවල අලි අනාථාගාරයට මෙන්ම එහි වෙසෙන අලි ඇතුන් සඳහා සිදුවූ අපහසුතාවන් සහ පීඩාවන් මග හරිමින් නව රජයක් ලෙස අලි ඇතුන් ආරක්ෂා කරමින් නව වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක වීමට කටයුතු කරන බවයි පරිසර අමාත්‍ය දම්මික බටබැඳි මහතා පැවසුවේ

එමෙන්ම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නිදහසේ තම රාජකාරී කටයුතු සිදු කිරීමේ අවකාශය ලබා දෙන බවටත් ඔහු මෙහිදී පැවසුවා

සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණෙන් යුතුව නව ප්‍රායෝගික වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් එම ව්‍යාපෘති තිරසාර ලෙස මතු පරපුර සඳහා තිළිණ කිරීමටත් ඇප කැප වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා

වර්ෂ 1975 දී සංචාරක අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන ලද පී.බී. ජී. කළුගල්ලගේ මූලකත්වයෙන් පෙබරවාරි 16 දින පින්නවල අලි සෙවණ ආරම්භය සිදු වූ අතර අක්කර 25 ක භූමි භාගයක් පුරා පැතිර තිබෙනවා

මේ වන විට එහි අලි ඇතුන් 68ක් පමණ සිටින අතර රෝගී තත්ත්වයෙන් පෙළෙන අලි ඇතුන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙන් ම අලි ඇතුන්ගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා නියමිත කාලසටහනකට වැඩ කටයුතු සිදු කෙරෙනවා

පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීම සඳහා වෙන්ව තිබෙන අපූරු ස්ථානයක් වන අතර මෙම ස්ථානය නැරඹීමට යන සංචාරකයෙකුට දිනය පුරාම අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නරඹමින් විනෝද විය හැකියාව පවතිනවා

Share This