සීසන් සිසුන්ට පාට් දැමූ කොන්දොස්තරට වැඩ වරදියි

සීසන් සිසුන්ට පාට් දැමූ කොන්දොස්තරට වැඩ වරදියි

සීසන් පත් සහිත පාසල් දරුවන් පිරිසකට නුවරඑළිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් තුළදී එහි කොන්දොස්තරවරයා විසින් බැන වැදී බස් රථයෙන් පළවාහරිනු ලබන සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනු දක්නට ලැබෙනවා.

එහිදී එම ලංගම බස් රථයේ කොන්දොස්තර මහතා සහ පාසල් සිසුන් අතර සිදුවූ වචන හුවමාරුව පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් පළවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

ඒ අනුව ලංගම පාලනාධිකාරිය විසින් එම සිදුවීමට සම්බන්ධ කොන්දොස්තරවරයා සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

තවද මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කඩිනමින් ඉටුවන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කොන්දොස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සියලුම සීසන් පත් සහිත පාසල් දරුවන් සහ මඟීන් ලංගම බස් රථ තුළට නංවා ගැනීම නව රජය යටතේ ගනු ලැබ ඇති තීන්දුවලින් එකක් වන බවත් එය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Share This