සෞඛ්‍ය ‍වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකියි -ජනපති

සෞඛ්‍ය ‍වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකියි -ජනපති

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවා.

මෙවර අයවැයෙන් ආකාර 06ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා, මූලික වැටුප අවම වශයෙන් රු.15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදු කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.

මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකගේ පැසසුමට ලක්වන බවත් ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බවත් ජනාධිපතිවරයාට පැවසූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලුද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.

 

Share This