ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුවට අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි

ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුවට අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි

වොෂින්ටන් ඩී.සී. හි ලෝක බැංකු මූලස්ථානයේ පැවැති ලෝක බැංකු සමූහයේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහභාගී වී තිබෙනවා.

“සියල්ලන් සඳහා ඩිජිටල් මාවත්” යන තේමාව යටතේ මෙම ගෝලීය ඩිජිටල් සමුළුව පැවති බව සඳහන්.

මෙම සමුළුව ඩිජිටල් විසඳුම් සහ ආර්ථික හා සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ එහි භූමිකාව ගවේෂණය කිරීමේ අරමුණින් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වූ අතර ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නැගී එන ඩිජිටල් තාක්ෂණයන් සහ උපාය මාර්ග පිළිබඳ ගෝලීය විශේෂඥයින් සමග අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සිය අදහස් හුවමාරු කරගෙන ඇති බවද සඳහන්.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ගෝලීය ඩිජිටල් සමුළුවට සමගාමීව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුවේ ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ඡාවක ද නිරත වූ බව සඳහන්.

එහිදී IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා, IMF හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, IMF හි විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ද හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර 2025 පෙබරවාරි මාසයේදී තුන්වන සමාලෝචනය සාර්ථකව නිම කිරීමෙන් පසු IMF විධායක මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගයට අග්‍රාමාත්‍ය ලේකම්තුමන් ස්තුතිය පළ කර ඇති බවද සඳහන්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත EFF සමාලෝචනයේ සන්ධිස්ථාන සපුරාලීමට ශ්‍රී ලංකා රජය සහය ලබා දෙන බවද අග්‍රාමාත්‍ය ලේකම්තුමන් මෙහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වීම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සමස්ත ආර්ථික ඵලදායිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් රජයේ අඛණ්ඩ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් කෙරෙහිද මෙහිදී අවධානයට ලක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පුළුල් සහයෝගයට ස්තුතිය පළ කරමින් ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සමඟ අග්‍රාමාත්‍ය ලේකම්වරයා රැස්වීමකට ද එක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ සංවර්ධනයට සහාය වීම සඳහා ලෝක බැංකුවේ තිරසර සහයෝගය ලබා දෙන බව රයිසර් මහතා මෙහිදී යළි තහවුරු කර ඇති බව ද සඳහන්.

රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඛණ්ඩ මූල්‍ය හා තාක්ෂණික සහාය සහතික කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය සහය පිළිබඳව ද සාකච්ඡා අවධානය මෙහිදී යොමුව තිබෙනවා.

Share This