ඉන්දීය අගමැති, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

ඉන්දීය අගමැති, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන තිබෙනවා.

උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වුණා.

තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කර ඇති අතර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

Share This