හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ශීතකරණයේ තබා විකුණූ කසිප්පු ජාවාරම

හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ශීතකරණයේ තබා විකුණූ කසිප්පු ජාවාරම

හොරණ සව්ගස් හන්දිය ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එහි ශිතකරණයේ සඟවා තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් සොයා ගත් බව හොරණ පොලිසිය සඳහන් කර තිබෙනවා.

රාත්‍රී සහ දහවල් ආහාර සපයන හෝටලයක් මුවාවෙන් කසිප්පු ජාවාරමේ නිරත වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවේදී එහි ශීතකරණය තුළ සහ තීරෝද රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ පෙරනලද කසිප්පු මිලි ලීටර් 35250ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඒ අනුව වෙළෙඳ සැලක් වීම හේතුවෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද කැඳවා වෙළෙඳ සැල පරීක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් පසු කසිප්පු තොගය සහ ත්‍රී රෝද රථය එහි තිබූ ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් ලිපක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී මත්පැන් ත්‍රීරෝද රථයෙන් ප්‍රවාහණය කර හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ශීතකරණයේ තබා හෝටලයට පැමිණෙන පිරිස් සඳහා සහ හොරණ සහ ඒ අවට ප්‍රදේශවලට ත්‍රීරෝද රථයෙන්ම ප්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

ජාවාරමේ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මීට පෙරද මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් කිහිපවරක් අත්අඩංගුවට ගෙන නඩු පවතින පුද්ගලයෙකු බවත් ඔහු මේ වන විට පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This