සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තවත් ව්‍යාජ පුවතක් ගැන නිවේදනයක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තවත් ව්‍යාජ පුවතක් ගැන නිවේදනයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ, අදාළ ව්‍යාජ පුවත සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය ලේකම් විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති ලිපියකට අනුවයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කර ප්‍රචාරය කොට ඇති බවටයි එම ලිපියේ සඳහන් වන්නේ.

එහෙත් එකි ප්‍රවෘත්තීන් ව්‍යාජ ප්‍රවෘත්තීන් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝපිතයෙකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසී නොමැති බවත් දිගින් දිගටම මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයෙත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීමක් සිදු වන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති ලිපියෙහි සඳහන් වේ.

එමෙන්ම දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගතවීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන බවත් චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරිම හරහා සමාජයට අගතිදායි ප්‍රතිඵල ඇති කරන බවත් එම ලිපියෙහි වැඩිදුරත් දක්වා තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති ලිපිය ඇතුලත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Share This