
විජයග්රහණයට වසර 16ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබෙනවා.
2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් වුණා.
ඒ අනුව එම විජයග්‍රහණයේ 16 වැනි වසර අද සමරනු ලබනවා.
පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්.
තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටින බව අප සියලුදෙනා දන්නා කරුණක්.
රුදුරු එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ ප්රහාරයන් හමුවේ සාමාන්‍ය සිවිල් වැසියෝ රැසක් ඝාතනයට ලක්වූ අතර එදා බස් රථවල, දුම්රියවල, බැංකුවල, මඟතොටේ බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසකට සිය දිවි අහිමි වුණා.
එමෙන්ම දේපළ රාශියක් විනාශ වූවා පමණක් නොව රටේ සංවර්ධනයට ද ඒ හරහා දැඩි බාධා එල්ල වුණා.
විජයග්රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වූ විරුවන් සැමරීමේ ජාතික උත්සවය හෙට (19) බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනවා.
රණවිරු විජයග්රහණයට වසර 16ක් සපිරෙන මොහොතක එම විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයෝ අපගේ වීරෝදාර ආරක්ෂක හමුදා රණවිරුවෝයි.
ඔවුන්ගේ ජීවිත, ලේ, අත් පා ඇතුළු ශරීරාංග කොටස් කැපකර මව්බිමට ඔවුන් ලබාදුන් මෙම උතුම් විජයග්‍රහණය වෙනුවෙන් මුළුමහත් ජාතියේම උත්තම ගෞරවාචාරය අභීත රණවිරුවන් වෙත පුදකර සිටිමු.