
YouTube නිවේදිකාවක් අත්අඩංගුවට
පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත ප්‍රසිද්ධ සංචාරක යූටියුබ් නාලිකාවක් වන ‘Travel With Jo’ හි නිවේදිකා ජෝති මල්හෝත්‍රා නමැති තරුණිය ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ හර්යානා හි පදිංචිව සිටිමින් එම තරුණිය එම යූටියුබ් නාලිකාව පවත්වාගෙන ගිය ගොස් ඇති අතර ඇය සමග තවත් පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජෝති මල්හෝත්‍රා විසින් 2023 වසරේදී අවස්ථා දෙකකදී පාකිස්ථානය වෙත ගොස් ඇති අතර එම සංචාරයට පෙර නවදිල්ලියේ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ එහ්සාන්-උර්-රහිම් නම් අයෙකු සමග සමීප සම්බන්ධතාවක්ද ගොඩනගාගෙන ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත්තේ.
අත්අඩංගුවට පත් වූ ඇය පාපොච්චාරණයක් ද සිදු කර ඇති අතර ඒ අනුව සිය පාකිස්ථාන සංචාරය අතරතුර එරට ආරක්ෂක අංශ සහ බුද්ධි නිලධාරීන් හමුව ඇති බවත් පසුව යළි ඉන්දියාවට පැමිණ එකී නිලධාරීන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉන්දීය ජාතික විරෝධී තොරතුරු බෙදාගැනීම සිදුකළ බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ජෝති මල්හෝත්‍රා විසින් ඉන්දියාවේ ස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු පාකිස්ථාන නිලධාරීන් හමුවේ බෙදා ගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ ඇය විසින් පාපොච්චාරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.