සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව අමතයි

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව අමතයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමතනු ලැබුවා.

සෞඛ්‍ය සේවය සදහා තිරසාර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවේ තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වන අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට එක් වී සිටිනවා.

ශ්‍රී ලංකාවටත් සෙසු ලෝක ප්‍රජාවටත් වැදගත්වන “එකම සෞඛ්‍යමත් ලොවක්” යන කාලෝචිත තේමාව පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදයද අමාත්‍යවරයා මෙහිදී පලකරනු ලැබුවා.

ශ්‍රී ලංකාව පසුගිය අඩ සියවසක කාලය තුළ මුහුණ දුන් අභියෝග පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා මෑතකාලීන ආර්ථික අර්බුදවලින් ගොඩ එමින් සිටිනුයේ, මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බවත්, ඒ සදහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා රජය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හඳුන්වා දී ඇති “සෞඛ්‍යමත් ලොවක්” යන තේමාවෙන් යුත් වැඩසටහනට ඒකාබද්ධව සිටින බව ද , තිරසර සංවර්ධන ඉලක්ක කරා නැවත එළඹීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කලා.

සෞඛ්‍ය ශ්‍රම බලකායේ සංක්‍රමණ අප රටට ගැටළුවක් වී ඇති බවත්, ඒ් හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටළු විසඳීමේ අවශ්‍යතාවය ද අවධාරණය කල අමාත්‍යවරයා 2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 දෙනෙකු, හෙද හෙදියන් 2800 ක් හා වෛද්‍ය නිලධාරීන් 1116 දෙනෙකු වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත්, මූල්‍ය අතින් එය අප රටට දැවැන්ත පාඩුවක් බවත් ප්‍රකාශකලා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සමුළුව අමතමින් පැවසීය.

එමෙන්ම රජය ජාතියේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටීන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා සිටියා.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගී වී සිටිනවා.

Share This